සාමාන්‍යයෙන්, සෑම දෙසැම්බරයකදීම ලංකාව වටා සංචාරයක යෙදීම මගේ සිරිතකි. මෙවරද මම ඒ සඳහා සූදානම් වූයෙමි. මුලින්ම කළේ මගේ රියැදුරාට, එක දිගට දින දෙක තුනක් නිදාගැනීමට සැලැස්වීමය. ඒ, ඔහුට අතරමඟදී නින්ද යාමෙන් වළකාලීමටය.
දෙවනුව, ඇඳුම්කැඩුම් සියල්ලටම පෙර ප්‍රථමාධාර පෙට්ටි දෙක තුනක්ම ඩිකියට පටවා ගතිමි.
තෙවනුව, අප ගමන් කිරීමට අදහස් කළ ගමන් මාර්ගයන්ට යාබදව පිහිටි සියලුම රෝහල්, ගිලන් රථ සේවා සහ පොලිස් ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කොට දැනුම්වත් වීමි.
ඒ සියල්ලටම පසු, පවුලේ අයට දැකගත හැකිවන පරිදි මගේ අන්තිම කැමති පත්‍රයද කන්තෝරු කාමරයේ ලියන මේසය මත තැබීමි.
මගේ රියැදුරුද හොඳ වැඩක් කළේය. පරිස්සමින් ගිහින් එන්න යනුවෙන් සඳහන් පුවරු දෙකක් රථයේ ඉදිරියෙන් හා පසුපසින් සවිකිරීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ අනෙක් රියැදුරන්ගෙන් අපගේ රථය ආරක්ෂා කර ගැනීමය. අප කොතෙක් පරිස්සමින් ගියත්, අනෙක් රියැදුරන් නොසැළකිලිමත් ලෙස රිය පදවන්නේ නම් එයද අපගේ ජීවිතවලට අවදානමක් බව ඔහු අත්දැකීමෙන්ම පසක් කරගෙන සිටී.
මගීන්ගේ නොසැළකිලිමත්කමින් සිදුවන අනතුරුද බොහෝය. මෑතකදී, අවන්හලකින් පිටතට පැමිණි මගේ මිතුරෙක් මහමඟ නවතා තිබූ මෝටර් රථයක හැපී වැටී බරපතළ තුවාල ලැබීය. එය රිය අනතුරු ගණයට නොවැටෙන බව රථවාහන පොලීසියේ නිගමනය විය.
මා ගමන පිටත්වූයේ අගනුවරිනි. නත්තල් සමය වූ බැවින්දෝ මඟ දිගටම සේල්ය. බැලූ බැලූ අත සේල්ය. වර්ෂය පුරාම වැඩි මිලට බඩු විකිණූ වෙළෙන්ඳෝ, වර්ෂාවසානයේදී අඩු මිල බඩු ඇඟේ ගැසීමට දරනා උත්සාහය පුදුමාකාරය.
ලාභ බඩුවේ හිලක් ඇතැයි කියුවාක් මෙන්ම, කලබලයටත්, තණ්හාවටත් සේල් බඩු ගැනීමට යාමද අවදානම්සහගතය. මෑතකදී, එක්තරා නගරයකට පැමිණි වෑන් රථයකින්, අඩු මිලට පාවහන් විකුණන්නට පටන් ගැනුණි. අලුත්ම සපත්තු ජෝඩුවක මිල රුපියල් දෙසිය පනහකි.
ෆැක්ටරියකින් එළියට දාපුවා. හොඳම බඩු. අායේ ජීවිතේට මේ ගාණට ගන්ඩ හම්බවෙන්නෙ නෑ. ඉක්මන් කරන්ඩ. පොලීසියෙන් ආවොත් අපි අමාරුවෙ. මෙතන වැඩිවෙලා නවත්තන් ඉන්ඩ බෑ.
වෙළෙන්ඳාගේ කරදරය නිසා, සපත්තු පැළඳ බැලීමට හෝ කේවල් කිරීමටද වෙලාවක් නැත. සපත්තු ජෝඩු ලේස් පටියකින්ම එකට බැඳ ඇත. එතැනින් ගිය එක් නෝනා මහත්මියක්ද, ඇගේ සැමියාටත් පුතාටත් නත්තල් තෑගි දීම සඳහා සපත්තු කුට්ටම් දෙකක්ම මිලට ගැනීමට සිතුවාය.
සයිස් හයෙන් කුට්ටමයි, සයිස් හතෙන් කුට්ටමයි.
රුපියල් පන්සීයකට, අලුත්ම සපත්තු කුට්ටම් දෙකක් මිලට ගැනීමේ ප්‍රීතියෙන් යුතුව ගෙදර ගිය ඇයට, තරු පෙනුණේ සැමියා පැමිණි පසුවය.
මොනවද මේ ගෙනත් තියෙන්නෙ. සපත්තු දෙකම වම් කකුල විතරනෙ! කෝ දකුණු කකුලෙ සපත්තුව?
ඒ වෙළෙන්ඳා හමුවී, දකුණු කකුලේ සපත්තුවද සොයා ගැනීමට තුරු ඔවුන් ලබන නත්තල වනතුරුම බලා සිටිය යුතුය.
පිටකොටුවේ පිට නැති කමිස ගැනද, කටු හැළෙන ඔරලෝසු ගැනද නොයෙක් කතා අප අසා ඇත.
එහෙත් ඒ කිසිවකින් නොහැදෙන ඔවූහු, සේල් බෝඩ් දුටු ගමන් කුලප්පු වෙති.
මුහුදුබඩ මාර්ගයට පිවිස ටික දුරක් යත්ම විශාල සේල් පුවරුවක් දුටු මම, කවුළුවෙන් එබී බැලුවෙමි. මුහුද අයිනේම නවතා තිබෙන්නේ
ඇවන්ගාඩ් නෞකාවය!
තව ටික දුරක් යන විට, මැති ඇමැතිවරුන්ට ගෙන්වූ වාහන පෙළක්ම සේල් දමා තිබුණි.
හම්බන්තොට වරාය ඉදිරිපිටත්, මත්තල ගුවන් තොටුපළ ඉදිරිපිටත් ලොකු සේල් බැනර් දෙකකි.
සර්... මේවත් සේල් දාන්නෙ නත්තලටද?
රියැදුරා මගෙන් ඇසීය.
නෑ... නෑ... දොළොස් මාසෙටම.
කඳුකරයට පිවිසි අපි, මාතලේ උකුවෙල ප්‍රදේශය හරහා ගමන් කරද්දී, බොහෝ නිවෙස් ඉදිරිපස සේල් පුවරු දක්නට ලැබුණෙත් කඩමණ්ඩියක් අසල රථ නවතා ඒ පිළිබඳ තොරතුරු විමසුවෙමු.
ලොකු උන්නැහේ... මොනවද මේ සේල්?
වකුගඩු
හැබෑට? ලාබද?
දෙකක් ගන්නවනං ලාබෙට අරන් දෙන්නං.
මගේ රියැදුරා කිසියම් උනන්දුවක් දැක්වුවද, මම ඔහුට උත්පත්තියෙන්ම වකුගඩු දෙකක්ම තිබෙන බව මතක් කර දුන්නෙමි.
ලංකාවේ මිනිස්සුන්ට වැඩිපුර මොළයක් තිබුණනං උන් ඒකත් විකුණයි.
මම රියදුරා දෙස රවා බලමින් කීවෙමි.
දෙක දෙක තියෙන හැම එකම විකුණන්ඩ ගත්තොත් මාර වැඩේ නේද සර් වෙන්නෙ?
රියැදුරා බැරෑරුම් මුහුණක් මවාගෙන මා දෙස බැලුවේය. මම එය නෑසුණාක් මෙන් ඉවත බලාගෙන මගේ තත්ත්වය ආරක්ෂා කර ගත්තෙමි.
හොඳ හොඳ සෙල්ලම් තව තව පස්සට යැයි කියුවාක් මෙන් අමුතු අමුතු සේල් දකින්නට ලැබුණේද ගමන අවසානයේදී යළි කොළඹ පැමිණි පසුවය.
නාවික හමුදා මූලස්ථානය ඉදිරිපස තිබූ සේල් බැනරය දුටු මම ඒ අසල රිය නවතන මෙන් පැවසුවෙමි.
මෙතන නං හොඳ බඩු ඇති. අඩු ගාණට ලයිෆ් ජැකට් දෙක තුනක් ගත්තත් පාඩු නෑ.
මම වටපිට බැලුවෙමි. කිසිදු භාණ්ඩයක් පෙනෙන්නට නැත. මුරකාවලෙහි යෙදී සිටි සෙබළෙක් මා දෙස රවා බැලුවේය.
තමුසේ මීඩියාද?
අපොයි නෑ. මම මේ බැලුවෙ සේල් දාල තියෙන්නෙ මොනවද කියලා.
ඩිසිප්ලීන්
නාවික සෙබළා පිළිතුරු දුන්නේය. අපි වහාම එතැනින් පිටත්ව පාර්ලිමේන්තුව දෙසට ගමන් කළෙමු. පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසලම ලොකු සේල් බැනරයකි. එහි සිටි පොලිස් නිලධාරියාගෙන් මම මෙසේ විමසුවෙමි.
පාර්ලිමේන්තුවෙත් සේල් එකක් වගේ? මොනවද විකුණන්නෙ?
ලංකාව
නිලධාරියා උදාසීන ලෙස පිළිතුරු දුන්නේය.
♦ කපිල කුමර කාලිංග